
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයාට ලබන 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දෙන ලෙස මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. එමෙන්ම, වැලිකඩ බන්ධනාගාරයේ සිට මීගමුව බන්ධනාගාරයට පැමිණි බන්ධනාගාර නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් පිළිබඳ වාර්තාවක්ද ගොනු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. මීට පෙර ඊයේ (27), මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට අද (28) පස්වරු 2.00ට අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි. නඩුව අද පස්වරු 2.00ට කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර, දින කිහිපයක් පුරා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දී තිබියදීත් අද දිනයේද නොපැමිණීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය කරුණු විමසා සිටියාය. ඒ අනුව, බන්ධනාගාර අධිකාරිවරයාට නොතිසි නිකුත් කර ලබන 30 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කිරීමට මහෙස්ත්‍රාත්වරිය මුලින් තීරණය කළාය. කෙසේ වෙතත්, එම අවස්ථාවේ අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරීන් අධිකාරිවරයා පැමිණෙමින් සිටින බව දැනුම් දීමත් සමඟ නොතිසි නිකුත් කිරීම අවලංගු කර නඩුව පස්වරු 2.30 දක්වා කල් තැබීමට නියෝග කෙරිණි. පස්වරු 2.30ට නඩුව යළි කැඳවූ අවස්ථාවේ මීගමුව බන්ධනාගාර අධිකාරි වජිර අබේධීර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ බන්ධනාගාරගත සියලු රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා කැඳවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කර ඇති බවත්, එක් විශේෂඥ වෛද්‍යවරයකුට පමණක් සියලුම රැඳවියන් පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම නියෝගය සංශෝධනය කළ හැකිදැයි විමසීමක් ලැබී ඇති බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍යාංශයෙන් ලැබුණු ලිපියක් අනුව තමන් කටයුතු කළ බවයි. අදාළ ලිපිය පරීක්ෂා කළ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පෙර නිකුත් කළ නියෝගය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එම නියෝගය අදාළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම් වෙත පැහැදිලිව යොමු කරන ලෙස රෙජිස්ට්රාර්වරයාට නියෝග කළාය. තවද, තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු දින හතරක් හෝ පහක් තිස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණද, එම වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. ඒ අනුව, ලබන 30 වැනිදාට පෙර තුවාලකරුවන් සම්බන්ධ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, නඩුව ලබන 30 වැනිදා යළි කැඳවීමට නියම කළාය.