
රු. 2,000,000ක මුදලක් ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත, ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුලුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී පැමිණිලිකරුට අයදුම්පත් ඉදිරිපත් නොකර එම ටෙන්ඩරය ලබා ගැනීමට ඉඩ සළසා දෙන බව පවසා සැකකරු විසින් අල්ලස් ඉල්ලා තිබේ.
එහිදී පැමිණිලිකරුගේ පියාගේ හා මාමාගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මෙලෙස මුලින් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
එකී මුදල රුපියල් ලක්ෂ 25 දක්වා අඩුකර, නැවත එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර තිබේ.
එම රුපියල් ලක්ෂ 20ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදීම යන අල්ලස් චෝදනා මත ගම්පොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ඊයේ (27) ගම්පොල තැපැල් කාර්යාලය අසල රථගාලේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.