
බටහිර ආසියාවේ නැවත ආරම්භ වූ ගැටුම් තීව්ර වෙමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා එල්ල වෙමින් පවතින පසුබිමක, ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධතිවල පවතින හිඟය පිළිබඳ වන වාර්තා හමුවේ ඉරානයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ග තීව්ර කිරීමේ යෝජනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්හිටුවා තිබේ.
පසුගිය සති දෙකකට ආසන්න කාලයකට පෙර මාරාන්තික බෝම්බ ප්‍රහාර නැවත ආරම්භ කිරීමෙන් පසුව, එක්සත් ජනපද හමුදාව ටෙහෙරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තාවකාලිකව නවත්වා ඇත.
ඒ අනුව මහා පරිමාණයේ යුද්ධයක් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ඉදිරියට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගැටුමට මාස පහක් සම්පූර්ණ වන නමුත්, මෙම ප්‍රහාර අත්හිටුවීම බටහිර ආසියාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වේද යන්න පිළිබඳව කතාබහක් නිර්මාණයව පවතියි.
ඉරාන හමුදාව විසින් නිර්දේශ කරන ලද මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක ගමන් කළ බවට චෝදනා කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, පසුගිය සති දෙක පුරා සෑම රාත්‍රියකම පාහේ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් එක්සත් ජනපද හමුදාව ආරම්භ කර තිබිණ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් බහරේන්, කුවේට් සහ ජෝර්දානය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලදී.
| ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රිකභාවය දෙසට අවධානය යොමු කරයි
ට්‍රම්ප් මීට පෙර ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, සාකච්ඡා ඉදිරියට යන බව ද පැවසීය.
එමෙන්ම ගැටුම නිසා ඉහළ යන තෙල් මිල නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී (midterm elections) රිපබ්ලිකන් පක්ෂයට පාඩුවක් විය හැකි බවට නැගෙන බිය නොසලකා හරිමින් ඔහු කටයුතු කළ බව වාර්තා වේ.
නමුත් දැන්, සති දෙකකට පමණ පසු පළමු වතාවට ගුවන් ප්‍රහාර අත්හිටුවා ඇති අතර, ට්‍රම්ප් පරිපාලනය විසින් මහා පරිමාණයේ සටන් මෙහෙයුම් සඳහා වූ සැලසුම් ද පසෙක තබා ඇත.
| මිසයිල තොග අඩුවීම ගැන පෙන්ටගනය අනතුරු අඟවයි
New York Times වාර්තාවකට අනුව, ජෝර්දානය, කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි එක්සත් ජනපද හමුදාවන් සහ කඳවුරු ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පේට්‍රියට් (Patriot) මිසයිල සහ අනෙකුත් අමතර ආයුධ තොග සීඝ්රයෙන් ක්ෂය වීම පිළිබඳව එක්සත් ජනපද හමුදා නිලධාරීන් අනතුරු අඟවා ඇත.
එක්සත් ජනපදයේ විශාල හමුදාමය ප්‍රහාරයක් මගින් ගල්ෆ් කලාපයේ සිටින තම මිත්‍ර රටවලට එරෙහිව දැවැන්ත ඉරාන ප්‍රතිප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට ද ට්‍රම්ප් පරිපාලනය බිය පළ කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
එවැනි තත්ත්වයක් වර්ධනය වීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට තවදුරටත් බාධා ඇති විය හැකි අතර ගෝලීය බලශක්ති අර්බුදය තවත් උග්‍ර විය හැකිය.
New York Times වාර්තාවට අනුව, ඉරානය සමඟ පැවැති මෙම ගැටුම අතරතුර පෙන්ටගනය විසින් පේට්‍රියට් මිසයිල 1,200 කට වඩා භාවිත කර ඇති අතර, එමගින් ඔවුන්ගේ මිසයිල තොගය අවදානම් සහගත ලෙස පහළ මට්ටමකට වැටී ඇත.