
අවශ්‍ය වුවහොත් ඉරානයට මෙතෙක් සිදු කළ සියලු ප්‍රහාර අභිබවා යන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු පුවත් වෙබ් අඩවියක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ඉරානය බහරේන්, කුවේට් සහ ජෝර්දානය ඇතුළු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හිතවාදී රටවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් පිලිබඳ සලකා බලමින් සිටින බවයි. "මම දැවැන්ත ප්‍රහාරයක් ගැන සලකා බලමින් සිටිනවා.... එය මීට පෙර සිදු කළ ප්රහාරයන්ට වඩා විශාල එකක් වේවි.... ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම්," යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. මේ අතර ඉරානයට එරෙහිව අඛණ්ඩව 13 වැනි රාත්‍රියටත් ගුවන් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කළා. මැදපෙරදිග කලාපය භාර එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථාන (CENTCOM) බලධාරීන් කියා සිටියේ ඉරානයේ හමුදා අණ මධ්‍යස්ථාන, ඩ්‍රෝන යානා ගබඩා, සන්නිවේදන ජාල, වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ මුහුදු ආරක්ෂක පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කළ බවයි. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) වාණිජ නෞකා ගමනාගමනයට එල්ල කරන තර්ජන අවම කිරීම සහ එම ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීම මෙම මෙහෙයුම්වල අරමුණ බව CENTCOM සඳහන් කළා. මේ අතර, ටෙහෙරානයෙන් ලැබෙන වාර්තා අනුව, කෙෂ්ම් (Qeshm) දූපතේ සහ කුසෙස්තාන් පළාතේ අහ්වාස් (Ahvaz) නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක පිපිරීම් වාර්තා වී තිබෙනවා. ඉරානයේ මෙහර් පුවත් සේවය සඳහන් කළේ, කුසෙස්තාන් පළාතේ අන්දිමේෂ්ක් (Andimeshk) සහ ඔමිඩියේ (Omidiyeh) නගරවලට ද ඇමෙරිකානු මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි.